-එන්ටොමොලොජි- :D
දැනට හොයාගෙන තියෙන සමනළයෝ ඔක්කොම බිත්තර දාන ජීවියෝ. හැබැයි එක ගැහැණු සතෙක් දාන බිත්තර ගාන සිය ගනණ් වල ඉඳලා දහසක් විතර වෙනකන් පරාසයක විශේෂය එක්ක වෙනස් වෙනවා.
සමනළයාගේ බිත්තරේ අපි හිතනවට වඩා ගොඩාක් සංකීර්ණ ව්‍යුහයක්. ඒක හරිම සියුම් විදිහට පාරිසරික බලපෑම් වලින් ඇතුලෙ ඉන්න ජීවියාව ආරක්ෂා කරනවා. බිත්තරේ එළියෙන්ම තියෙන්නෙ chorion කියන ගණකම ශක්තිමත් බිත්තියක්. මේකට පිටතින් ඉටිමය රසායනිකයක් තුනී පටලයක් වගේ තියෙනව. ඉටි ජලයට අපාරගම්‍යයිනෙ ඉතින් මේකෙන් සිද්ධ වෙන්නෙ ජල හානිය වළක්වන එක. අර මං කිවුව පිටත බිත්තියේ ඉතාම කුඩා (මේ කියන්නෙ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය මට්ටමේ) සිදුරු දහස් ගාණක් තියෙනවා. මේ සිදුරු වලින් තමයි වායු හුවමාරුව සිද්ධ වෙන්නෙ. මේවා හැදිලා තියෙන ආකාරයට ජල හානිය වලක්වගෙන වායු හුවමාරුව කරනවා කියලා තමයි පොත් වල සඳහන් වෙන්නෙ.
දිග බිත්තරේකනම් මුදුනෙ, පැතලි එකක නම් උඩ පෘෂ්ඨයේ හරි මැද තියෙනවා micropyle කියලා කියන කුඩා සිදුරක්. මේකත් අන්වීක්ෂීය මට්ටමේ එකක් ඒත් කලින් කියපු එව්වා තරම් පොඩි නැහැ. මේ සිදුර වටේ ව්‍යුහය මාර ලස්සනයි. (Butterfly eggs <-මෙන්න මේ පිටුවට ගිහින් බලන්නකො… සමනළ බිත්තර වල පිස්සු හැදෙන මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඡායාරුප කිහිපයක් බලාගන්න පුළුවන් :-) ) Micropyle එක හරහා තමයි ගැහැණු සතාගෙ ප්‍රජනක පද්ධතිය ඇතුලෙදි බිත්තරේ තුළට පිරිමි සතාගෙ ශුක්‍රාණුවක් ඇතුල් වෙන්නෙ. මෙතන තමයි බිත්තරේ යම් මට්ටමකට දුර්වල එකම තැන. (මෙත්නින් තමයි පරපෝෂී wasp ලා බොහෝමයක් තමන්ගෙ බිත්තරේ සමනළයගෙ බිත්තරේ ඇතුලට දාන්නෙ.)
බිත්තරයක් තැනක දැම්මහම එතනම තියෙන්නෙ විශේෂ ගම් එකක් නිසා. මේක අම්මාගෙ ඇඟේ තියෙන ග්‍රන්ථියකින් ස්‍රාවය වෙන තරලමය රසායනිකයක්. සිමෙන්ති වගේ මේකත් වේලෙද්දි ඝන වෙනවා (හැබැයි සිමෙන්ති වලට වඩා ගොඩාක් වේගෙන්). ආයෙ ලේසියෙන් ගැලවෙන්නෙනම් නැහැ.
ඉතාම අතලොස්සක් හැරුණාම සමනළ කීටයෝ(දැළඹුවෝ) සියල්ලම තම තමන්ගේ විශේෂයට විශේෂිත ශාක (ධාරක ශාක) ආහාරයට අරගන්න බව අපි කතා කලා. සමනළ අම්මා බිත්තරේ ශාකයේ නිශ්චිත තැනක දැමීම, ශාකයේ ඔනෑම තැනක දැමීම සහ ශාකය ආසන්නයේ වෙනත් වස්තුවක් හෝ ගසක් මත දැමීම කියන ආකාර තුන ලංකාවේ දකින්න ලැබෙනවා. ලංකාවේ නැතත් සමහර රටවල සමහර skippers විශේෂ ධාරක ශාකය ළඟ බිත්තර බිම හලලා යනවාලු. ලංකාවේ සමනළ අම්මලා හොඳයි නේද ඒ එක්ක බැලුවාම. ;-)
බිත්තර දැමීමේ චර්‍යා, වරකට දාන බිත්තර ගණන, එක තැනක කීපයක් දානවනම් ඒවා පිහිටුවන විදිහ, බිත්තරේ හැඩය, විශාලත්වය, වර්ණය, මෝරා පැටවු එලියට එන්න ගතවන කාලය වගේ දේවල්වල ඉතා විශාල විවිධත්වයක් තියෙනවා. ඒවා විශේෂයෙන් විශේෂයට වෙනස් ආවේණික දේවල්. පැටවු එන්න ගතවෙන කාලය නම් පරිසර සාධක මතත් වෙනස් වෙනවා. කෙසේ වෙතත් මේ විවිධත්වය ගණයක් තුල අඩුයි, ඒ කියන්නෙ ලඟින් නෑදෑ වෙන විශේෂ වල මේ දේවල් ගොඩක් දුරට එක වගේ.
සිය දහස් ගණන් වලින් බිත්තර දැම්මට දාන බිත්තර වලින් අවසානයේ සුහුඹුල් සමනළයෙක් බිහිවෙන්නෙ 1%-2% පමණ ප්‍රතිශතයකින් විතරයි. අනික් සියල්ලම බිත්තර හෝ කීට හෝ පිළා හෝ අවධි වලදි අනතුරු වලට මුහුණදෙනවා. ජානමය විකෘති, පරපෝෂීන්, කුරුල්ලන් වැනි සතුන් ආහාරයට ගැනීම, බැක්ටීරියා සහ වෛරස ආසාදන, සමහරවිට ආහාර නොමැතිවීම, ලංකාවෙ නොවුනත් දැඩි ආන්තික දේශගුණික/කාලගුණික තත්ත්ව අත්විඳින රටවල්වල ඒ හේතු නිසාත් මේ දේ සිද්ධ වෙනවා. මේක ඉතාම දුක හිතෙන දෙයක් වගේ පෙනුනට පොඩ්ඩක් හිතල බලන්න දාන බිත්තර ඔක්කොම සමනළුන් වුනොත් මොකද වෙන්නෙ කියලා.
හැබැයි අද වෙද්දි විශේෂයෙන්ම මිනිසා නිසා සිදු වෙන වන විනාශය, කෘමිනාශක සහ වල්නාශක වැනි කෘතිම විෂ රසායනික ආදිය නිසා මේ ප්‍රතිශතය තවත් අඩු වෙලා තියෙනවා. ආච්චිලා සීයලා ඉස්සර දැක්කයි කියන මහා විසාල සමනළ ගහණ අද දකින්න නැත්තෙ ඒ නිසා.
ලංකාවේ සුලභ සමනළ විශේෂ කිහිපයක බිත්තර |
No comments:
Post a Comment