Tuesday 11 December 2018

සමනළයා කියන්නෙ කවුද?


      සමනළයෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් දිවාචර ඒ කියන්නෙ දවල් කාලයේ ක්‍රියාකාරී කෘමි කොට්ටාශයක්(ඒත් උදේ සහ හවස් කාලයේ විතරක් ක්‍රියාකාරී විශේෂ කිහිපයකුත් ඉන්නවා). විද්‍යාත්මකව කිවුවොත් Animalia රාජධානියේ, Arthropoda වංශයේ, Insecta වර්ගයේ, Lepidoptera ගෝත්‍රයට අයිති ජීවීන් කොටසක්. Lepidoptera තක්සෝනයට සලඹයොත් අයිති වෙනවා(සමනළයයි සලඹයයි වෙන් කරන ලක්ෂණ අපි වෙන දවසක කතා කරමු). 
      දැනට ලෝකයේ සමනළ විශේෂ 18 500 ක් විතර විද්‍යාවෙන් විස්තර කරලා තියෙනවා. ඇන්ටාක්ටිකාව හරුණාම අනිත් හැම මහාද්වීපයකම සමනළුන් බලාගන්න පුලුවන්. ඒ වගේමයි සමනළයාට දිග ඉතිහාසෙකුත් තියෙනවා. දැනට තහවුරු පැරණිම සමනළ පොසිලය අවුරුදු මිලියන 56 විතර කාලයක් පරණයි (ඒ කියන්නෙ Paleocine epoch එක ඇතුලෙ).   

    සමනළුන්ගෙ පොදු රූප විදයාත්මක ලක්ෂණ කිහිපයක් බලමු,
  • සමනළයා කෘමියෙක්නෙ(ඒ කියන්නෙ class Insecta), ඒ නිසා එයාලට ඉන්සෙක්ටාවන්ට පොදු ලක්ෂණ පිහිටනවා. ඇඟ හිස, උරස සහ උදරය කියලා කොටස් 3කට බෙදිල තියෙනවා පැහදිලිවම.
  • හිසේ සංයුක්ත ඇස් දෙකක්, 
  • ඇන්ටෙනා දෙකක්, 
  • පැල්පි කියලා අවයව දෙකකුත්, 
  • විශේෂයෙන්ම ලෙපිඩොප්ටෙරාවන්ට අවේණික c  හැඩ අර්ධ නාලිකා දෙකක් එකතු වෙලා හැදෙන “ශුන්ඩාව“ කියන නාළාකාර ව්‍යූහයත් තියෙනවා.(මේ ශුන්ඩාව හැදිලතියෙන්නෙ සමාන අර්ධ නාළ දෙකකින් නිසා “සමාන නළ ඇති කියන එක නිසා එයා සමනළයා වුණා“ කියලා දැනගන්න. සුද්දා බටර් පාට නිසා butterfly කිවුවට අපේ සිංහලයෝ මේ චූටි සතාගෙ සියුම් ව්‍යූහයන් පවා දැනගෙන තමයි මෙ නම දාල තියෙන්නෙ.)
  • උරසට සන්ධි පාද යුගල් 3ක් ඒ කියන්නෙ පාද 6ක් සහ 
  • පියාපත් යුගල් 2ක් ඒ කියන්නෙ පියාපත් 4ක් සම්බන්ධයි. මේ පියාපත් කුරුල්ලන්ගෙ එව්ව වගේනම් නෙමෙයි. ශල්ක කියලා සියුම් ව්‍යුහ මිලියන ගානකින් තමයි හැදිල තියෙන්නෙ(සමනළයෙක් ඇල්ලුවහම අතෙ ගෑවෙන්නෙ මෙව්වා).    

       සමනළයා චලතාපී සතෙක්, එයා ක්‍රියාකාරී වෙන්න අවශ්‍යය දේහ උෂ්ණත්වය ලබාගන්නේ අව්වට වෙලා ටිකක් වෙලා අව්ව තැපලා.
       අපි ලස්සනයි කියලා බලන පියාඹන සමනළයා එයාගෙ ජීවන චක්‍රයෙ අවසාන අවස්ථාව විතරයි. සමනළයා සම්පූර්ණ රූපාන්තරණය සිදු කරන සත්ත්ව කොටසක්(බිත්තරය,කීටයා/දැළඹුවා, පිළවා/කෝෂය සහ සුහුඹුලා/සමනළයා කියලා අවධි 4ක් තියෙනවා).
       මවු සමනළයා බිත්තර දාන්නෙ එයාගෙ විශේෂයට අවේණික වූ ගස් වර්ග වල විතරයි(උදාහරණෙකට කිවුවොත් Sri Lankan Birdwing (Troides darsius) කියන සමනළයා බිත්තර දාන්නෙ සප්සඳ (Aristolochia indica) කියන වැල් වර්ගයේ විතරයි). Apefly කියන සමනළයාගෙ දැළඹුවා විතරක් පිටි මකුණන්ව ආහාරයට ගන්නවා ගස් වර්ග කන්නෙ නැතුව. 
       බිත්තරෙන් එලියට එන දැළඹුවා ධාරක ශාකය හොඳ හැටියට අනුභව කරමින් 4 වතාවක් හැව අරිමින් ටිකෙන් ටික ලොකු වෙනවා. ඊට පස්සෙ හොඳ තැනක් බලලා එතන පිලිවෙලක් කරගෙන 5 වෙනි හැව ඇරලා කෝෂයක් හදාගන්නවා. නිසි කාලය ගත වුනහම හරි සුදුසු කාලය ආවහම හරි මේකෙන් එලියට එන්නෙ ලස්සන වර්ණවත් සමනළයෙක්. ඔන්න ඕකයි ජීවන චක්‍රය.

No comments:

Post a Comment

Creative Commons Licence
"Butterflies", Nature's Jewellery by Induru Hettiarachchi is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.