Tuesday 19 February 2019

කීට අවධිය නොහොත් දැළඹුවා (හැඳින්වීමක් සහ රූපවිද්‍යාත්මක ලක්ෂණ)

     අපි කලින් දවසක කතා කරපු නිසා ඔයාල දන්නවා සමනළයාගෙ ජීවන චක්‍රයේ දෙවෙනි අවධිය තමයි කීටයා නැතිනම් දැළඹුවා. බිත්තරෙන් එලියට ආපු දවසෙ ඉඳන් කෝෂය හදන දවස වෙනකන් කාලය මේ අවධියට අයිතියි. කන එක තමයි ප්‍රධාන රාජකාරිය මේ අවධියේ.

     හැම විශේෂයකම වගේ දැළඹුවාගේ පළවෙනි ආහාරය තමුන්ගේම බිත්තර කටුව. කොටින්ම කියනවානම් දැළඹුවා එළියට එන්නෙම බිත්තර කටුව කාගෙන. එතැනින් පටන්ගන්න කෑමේ භාරදූර කර්තව්‍යය ඉවර වෙන්නෙ කෝෂය හදලා. 😁 අපි කලින් දවසක මෙයාලාගේ පෝෂණ විවිධත්වය ටිකක් කතා කලානේ. සුළුතරයක් හැරුණාම අනික් සියල්ලම ශාක කොටස් තමයි ආහාරයට ගන්නේ. ඒකත් තමන්ගේ විශේෂයට විශේෂිත ශාකයක් හෝ ශාක කිහිපයක්. බහුතරය ශාක කොටස් තමයි ආහාරයට ගන්නේ. එතනදි ශාකයේ මොන කොටස මොන ආකාරයටද කන්නෙ කියන එකේ ලොකු විවිධත්වයක් තියෙනවා. සමහර විශේෂ පුෂ්ප කොටස් පමණයි කන්නෙ, තවත් අය ලපටි දළු විතරයි කන්නෙ, ලපටි ඵල සහ මුල් ආහාරයට ගන්න අයත් ඉන්නවා. ඒ අතරෙ අදාල ශාකයේ අහුවෙන ඔනෙ කොටසක් කන අයත් ඉන්නවා. 😅 ඊගාවට මං කියපු සුළුතරය (ලංකාවෙනම් එක්කෙනයි ඉන්නේ, Apefly - Spalgis epeus) කෘමි විශේෂ ආහාරයට ගන්නවා.

     Lepidoptera ගෝත්‍රයට අයිති කීටයෝ දිගටි සිලින්ඩරාකාර හැඩයක් තමයි දරන්නේ(පණුවා කිව්වහම අපිට මතක් වෙන්නෙ මේ හැඩය), නමුත් පැතලි විශේෂත් ඉන්නවා(Lycaenidae කුලය). හිස, උරස සහ උදරය කියලා ටැග්මීකරණය වුනු දේහයක් තමයි තියෙන්නෙ(ටැග්මා එකක් කියන්නෙ එක කොටසක් විදිහට වැඩ කරන්න පුලුවන් විදිහට ඛණ්ඩිත දේහ තියෙන සතුන්ගෙ යාබද ඛණ්ඩ එකතු වෙලා හැදෙන රූපවිද්‍යාත්මක ඒකකයක්).

     හිස ගැන කතා කළොත්, ඒක ආහාර ගැනීමටම විශෙෂිතව හැදුණු බාහිර ව්‍යූහ තියෙන කොටසක්. ලොකු දැළඹුවෙක්ගේ මේ බාහිර මුඛ උපාංග පැහැදිලිව බලාගන්න පුලුවන්. [මෙතන ඉඳන් කියන ඉංග්‍රීසි වචන තාක්ෂණික යෙදීම්. ඒවාට සිංහල වචන මම දන්නෙ නැති නිසා ඉංග්‍රීසියෙන්ම කියනවා, ඒවා දැනගත්ත දවසක දාන්නම්, හැබයි ලොකු විශ්වාසයක් තියෙනවා ඒවාම් කොහෙත්ම තේරෙන එකක් නැහැ කියලා. 😅]
     බත් කූරෙක්ගෙ ඇස්  දෙක වගේ ඉස්සරහට ලොකුවටම පේන්න තියෙන ව්‍යූහයට කියන්නෙ Epicranium කියලා. මේක දකුණු සහ වම් විදිහට බාග වෙලා තියෙන්නෙ. (Stemmata හරුණාම මෙතන කතා කරන මේ ඔක්කොම බහිර ව්‍යූහ ස්ක්ලෙරොටින් ප්‍රෝටීනයෙන් ඝන වෙලායි තියෙන්නේ.) ඒ අතරෙ තියෙන ත්‍රිකෝණාකාර කොටස Frons එක. ඊට යටින් Clypeus සහ ඊටත් යටින් Labrum එක, ඉස්සරහින්(පූර්වව) බැලුවහම බලාගන්න පුලුවන්. Stemmata කියලා කියන ප්‍රතිබිම්භ නොසාදන සරල ඇස් එක පැත්තක 6 ගානේ දෙපැත්තේ 12ක් තියෙනවා. අපිට වගෙ ඒ ඇස් වලින් එයාලට පේන්නෙ නැහැ, ඒවා ආලෝකයට සංවේදී විතරයි. කලින් කියපු Labrum එකට පිටිපස්සෙන් පිළිවෙලින් එකක් පසුපස එකක් හැටියට Mandibles, Maxilla යුගල බැගින් සහ  Labium එක තියෙනවා. Maxilla ඒකෙන් එලියට ඇවිත් තියෙන Maxilliary galea කියන ව්‍යූහය තමයි පසු කාලෙක සමනළයාගේ ශුණ්ඩාව බවට පත් වෙන්නෙ. සේද ග්‍රන්ථී විවෘත වෙන්නෙ Labium එකෙන් පිටතට ඇවිත් තියෙන Spinneret කියන ව්‍යූහය මතට. දැළඹුවන්ටත් මකුළුවන්ට වගේ සේද හදන්න පුලුවන් කියල නොදන්න අය ඔන්න දැන් දන්නවා. 😉 Mandibles යුගලට දෙපැත්තෙන් කුඩා Antenna (ස්පර්ශක) යුගල බලාගන්න පුළුවන් (සමනළයාගෙත් ස්පර්ශක වෙන්නෙ මේ දෙකම තමයි).
     හිසේ තවත් වැදගත් බාහිර වගේම අපි කතා කළේම නැති අභ්‍යන්තර ව්‍යූහ ගොඩක් තියෙනවා. ඒත් සංරක්ෂණයටයි සාමාන්‍ය දැනීමටයි මේ විස්තර ඕනෙවටත් වැඩියි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඒ සංකීර්ණ ව්‍යූහයි, අභ්‍යන්තර ව්‍යූහයි කතා කරන්න මගෙ බලාපොරොත්තුවක් නැහැ.

දැළඹුවාගේ හිසේ පූර්ව පෙනුම සහ කොටස් (මහ නිලයාගේ Papilio polymnestor 5වන අන්තරුවේ කීටයා)

     හිසට පසුපසින් තියෙන්නෙ උරස. ඛණ්ඩ තුනකින් හැදුණු ටැග්මා එකක්. ඒ හැම ඛණ්ඩයකම අවිදුර අන්තයේ සිට පිළිවෙලින් coxa, trochanter, femur, tibia, tarsi  කියන කොටස් පහෙන් හැදුණු සන්ධි පාද යුගල බැගින්, උරසේ සන්ධි පාද 6ක් තියෙනවා. මේවා පේශි වලින් චලනය කරවන පාද. උරස හිසට සම්බන්ධ වෙන්නෙ cervix(ගෙල) එකෙන්. පළමු ඛණ්ඩයේ පමණක් දෙපැත්තේ Spiracles(ශ්වාසරන්ධ්‍ර) යුගලක් තියෙනවා (සමනළයන්ගේ වායු හුවමාරුව සිද්ධ වෙන්නෙ අපේ වගේ නෙමෙයි. ඒකට එයාලට ශ්වාසනාල පද්ධතියක් තියෙනවා. මේ පද්ධතිය පිටතට විවෘත වෙන සිදුරු තමයි ශ්වාසරන්ධ්‍ර කියන්නේ). උරසේ, Papilionidae කුලයේ පමණක් අවශ්‍ය විට ඉවතට ගත හැකි Osmeterium කියලා ව්‍යූහයක් තියෙනවා. මේක ආරක්ෂාව සඳහා තියෙන ව්‍යූහයක්, පෙනුම සර්පයෙක්ගෙ දෙකට බෙදුණු දිව වගේ.

     අවසාන ටැග්මා එක තමයි උදරය. මේක ඛණ්ඩ 10කින් හැදිලා තියෙන්නෙ. 3,4,5,6 සහ 10 කියන ඛණ්ඩ වල Prolegs කියලා කියන තවත් කකුල් වර්ගයක් යුගලය ගානේ තියෙනවා(එතකොට මුලු prolegs ගාන 10යි). මේවා සන්ධි පාද වලට වඩා ගොඩාක් වෙනස්. මේවාගෙ අග තියෙනවා crochets කියලා කියන කොකු වගේ ව්‍යූහ වගයක්. මේ පාද වැඩ කරන්නේ ශරීරය අතුලෙ ඇතිවෙන ද්‍රවස්ථිති පීඩනයෙන්. 1,2,3,4,5,6,7 සහ 8 වෙනි ඛණ්ඩ වල දෙපැත්තේ ශ්වාසරන්ධ්‍ර යුගලය ගානේ තියෙනවා. උදරයේ තවත් වැදගත් බාහිර සහ අභ්‍යන්තර ව්‍යූහ තියෙනවා, සමහර ඒවා සමහර කුල වලට ආවේණිකයි(උදා:Dorsal Nectar Organ- DNO, Pore Cupola Organ- PCO, Tentacular Organ- TO, honey glands and wax or powder glands). මේවා ඒ ඒ කුල ගැන කතා කරද්දි අපි බලමු.

දැළඹුවාගේ පාර්ශ්වික පෙනුම සහ කොටස් (මහ නිලයාගේ Papilio polymnestor 5වන අන්තරුවේ කීටයා)

දැළඹු අවධිය තමයි සමනළයාගේ ජීවන චක්‍රයේ අනතුරු බහුලම. විලෝපිකයන්ට ගොදුරු වීම, රෝග සහ ආසාදන, පරපෝෂිතයන්, ආහාර හිඟවීම් සහ තව ගොඩාක් දේවල් නිසා ගොඩාක් අය මේ අවධියේදි මැරෙනවා. කුරුල්ලෝ, උරගයෝ, ගෙම්බො වගේම සමහර ක්ෂීරපායී විශේෂත් මෙයාලව ආහාරයට ගන්නවා. පරපොෂී මැසි සහ කුඹල් විශේෂ තමුන්ගෙ දරුවන්ගෙ තොටිල්ල හැටියට තෝරගන්නෙත් මේ අසරණ දැළඹුවන්ව. බැක්ටීරියා, වෛරස සහ දිලීර පවා මෙයාලට ආසාදනය වෙනවා. Cordyseps spp. කියන සුප්‍රසිද්ධ දිලීරයත් මෙව්වගෙන් එකක්.

     ඒවා කොහොම වුනත් දැළඹුවෝ මේ යුද්ධෙදි නිරායුධ නැහැ. විව්ධාකාරයේ ආයුධ මෙයාලට තියෙනවා(උදා:horns, fleshy filaments, setae, spines, branching spines, osmeterium). ඒ වගේමයි හැම පාටකින්ම, දහස් සංඛ්‍යාත වර්ණ රටා තියෙන අය මේ අතරෙ ඉන්නවා. සුවිශේෂී හැසිරීම් රටා දක්වන අය ඉන්නවා. මේ සියල්ලම පරිණාමය විසින් මෙයාලට මේ යුද්ධෙ ජයග්‍රහණය කරන්න, මෙයාලා වෙනුවෙන්ම හදලා දීපු දේවල්. අපි ඒ දේවල් ගැනත් ඉස්සරහදි කතා කරමු.

      කීටයා බිත්තරෙන් එලියට ආ දා පටන් 4 වතාවක් හැව හලනවා. මේ සෑම වතාවකදීම එයා ප්‍රමාණයෙන් විශාල වෙනවා. මෙ අතර අවධි අන්තරු කියලා හඳුන්වනවා. සමනළ කීටයෙක්ට අන්තරු 5ක් තියෙනවා. අන්තිම අන්තරුවේදි, ඒ කියන්නේ 5 වෙනි අන්තරුවේදී, කාලා ඉවර වෙලා මෙයා  හොඳ ආරක්ෂිත තැනක් හොයන්න යනවා; තැනක් තෝරාගෙන, සේද ඇතිරිල්ලක් දාලා 5වෙනි සහ අවසාන වතාවට හැව ඇරලා පිළවෙක්(කෝෂය) බවට පත් වෙනවා. එක එක හේතු නිසා මේ අවස්ථාවෙදිත් මැරෙන අය ඉන්නවා. සෑහෙන රළු ජීවිතයක්. 😥

ලංකාවේ සුලභ සමනළුන් කිහිප දෙනෙකුගේ කීට/දැළඹු අවධි

   

No comments:

Post a Comment

Creative Commons Licence
"Butterflies", Nature's Jewellery by Induru Hettiarachchi is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.