සමනළයාගේ පිළා අවධිය සංචරණයක් දක්වන්නේම නැති ඉතා සුළු චලන පමණක් දක්වන (සමහර වෙලාවට එහෙම චලනත් මුකුත්ම නැහැ) ඉතාම ඔතෑනි කාල පරාසයක්. අපිට ඔතෑනි විදිහට එළියට පෙනුනට සොබාදහමේ ආශ්චර්යමත්ම ක්‍රියාවලියක් කෝෂය ඇතුලේ මේ වෙද්දි සිද්ධ වෙනවා. අද අපි කතා කරන්නෙ ඒ ගැන.
5 වෙනි අන්තරුවේ ඉන්න දැළඹුවා කෑම කාලා කාලා ඉවර වෙලා කෝෂයක් හදන්න ලැහැස්ති වෙනකොට ඒ අවස්ථාවේ එයාට කියනවා පූර්ව පිළා අව්ධියේ ඉන්න කීටයෙක් කියලා (ඉංග්‍රීසියෙන් කියනවානම් pre pupatory larva ).
දැන් මෙයා ඉස්සරහට පිළා අවධිය ගත කරන්න සුදුසු තැනක් හොයන වැඩේ පටන්ගන්නවා. ඒ තැන වේලිලා ගිය අත්තක්, ආරක්ෂිත කොලේක යට පැත්තක්, ගෙඩියක්, මල් පොහොට්ටුවක් නැත්තන් කූඹි ගුලක් වෙන්නත් පුලුවන්... හැබැයි තමන් තෝරගන්න තැනේ ස්වභාවය විශේෂයෙන් විශේෂයට වෙනස් වෙනවා. තැනක් හොයාගෙන එතන බිම හොඳ ගනකමට සේද පලසක් අතුරනවා (මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ silk pad එක කියලා).මුළු පිළා අවධිය පුරාවටම උපස්තරය තදින් අල්ලගන්න උදව් වෙන්නේ මේ සේද වියමන තමයි. කෝෂයේ අධර අන්තයේ තියෙනවා cremaster කියලා ව්‍යුහයක්. මේකෙ තියෙනවා කොකු වගේ ව්‍යූහ (crochets) ගොඩාක්. අර සේද වියමන මේ කොකු වලින් අල්ලගෙන තමයි පිළා අවධිය ස්ථාවරව ගත කරන්නේ. සමහර විශේෂ තවත් සේද නූලක් තමන්ගෙ උරස වටේට දාගන්නවා. මේකට silk girdle එක කියලා කියනවා. ස්ථාවර බව වැඩි කරගන්න තමයි බෝහෝ විට මේකත් යොදාගන්නෙ.
Nymphalidae කුලයේ පිළවා සාමාන්‍යයෙන් ඔලුව යටට තියෙන විදිහට එල්ලිලා සේද නූල නැතුව තමයි ඉන්නෙ. අනිත් කුල ඔක්කොගෙම බහුතරය සේද නූලක් පාවිච්චි කරනවා. Papilionidae කුලයේ අයනම් සාමාන්‍යයෙන් ඔලුව උඩ අතට තමයි තියාගෙන ඉන්නේ. ඔය කියපු කුල දෙක ඇරුනම අනිත් කුල වල අය සාමාන්‍යයෙන් තිරස් අතට හෝ උපස්තරය එක්ක අඩු ආනතියක් තියෙන විදිහට තමයි කෝෂය හදන්නේ.
මේ වැඩ ටික හරියට කරගෙන ඉවර වෙද්දි තමයි අමුතුම දේවල් ටික සිද්ධ වෙන්න පටන්ගන්නේ. Ecdyosone, juvenile hormone, prothoracicotropic hormone වගේ හෝමෝන සහ තවත් වැදගත් එන්සයිම ක්‍රියාත්මක වෙලා කීට චර්මයට යටින් පිළා චර්මයක් හදන්න පටන්ගන්නවා. මේ වැඩේ ඉවර උනාම එන්සයිම වලින් අලුත් චර්මයත් පරණ චර්මයත් අතරෙ තියෙන සෛල ටික ජීර්ණය කරනවා. ඊට පස්සෙ එයාට පුළුවන් අන්තරු අතරෙ මාරු වෙද්දි ඡවිපාතනය කලා වගේම කීට චර්මය හලලා කරලා පිළා අවදියට පිවිසෙන්න. පූර්ව අන්තයේ සිට අධර අන්තය දක්වා තමයි මේක වෙන්නෙ. මේ ඡවිපාතනය වුණු අළුතම පිළවා ඉතාම අනාරක්‍ෂිතයි. මොකද තවම කයිටීන් වලින් හැදුණු බහිෂ්චර්මය ඝන වෙලා නැහැ, ඉතාම මෙලෙකයි. නමුත් ඉක්මනින්ම මේ බහිෂ්චර්මය ස්ක්ලෙරොටින් වලින් ඝන වෙනවා. මේ පිටත ආවරණය පිළා අවධියේ ආරක්ෂාවට සෑහෙන ලොකු මෙහෙයක් ඉටු කරනවා.
කෝෂය ඇතුලෙදි ශ්වාසනාල පද්ධතිය, imaginal discs සහ අත්‍යාවශ්‍ය අවයව කිහිපයක් හැරුණාම අනිත් ඔක්කොම දේවල් ජීර්ණය වෙලා පෝෂණ ද්‍රව්‍ය පිරුණු සුප් එකක් බවට පත් වෙනවා.
Imaginal discs කියලා කියන්නේ බිත්තරේ කාලෙ ඉඳන්ම විශේෂණය වෙලා නමුත් විභේදනය නොවී තියෙන, සුහුඹුල් අවධියේ යම් නිශ්චිත අවයවයක් හො අවයව කිහිපයක් බවට පත්වෙන්න නියමිත සෛල ගොනු.
අදාල හෝමෝන වල බලපෑම යටතේ මේ සෛල ගොනු විභේදනය වෙන්නත් විශේෂණය වෙන්නත් පටන්ගන්නවා. අනාගත සුහුඹුල් සමනළයාගේ සියලුම ඉන්ද්‍රියන් පාහේ නිර්මාණය වෙන්නෙ මේ සෛල වලින්, මේ අවස්ථාවේදි, කෝෂය ඇතුලේ. මේ වැඩ වලට ඕනෙ කරන ශක්තිය සහ ද්‍රව්‍ය කලින් ජීර්ණය වෙලා දැන් සුප් එකක් වගේ තියෙන යුෂයෙන් තමයි ගන්නේ. කෙටියෙන් කියනවානම් කෝෂය ඇතුලේදි දැළඹුවා සම්පූර්ණයෙන්ම වාගේ දිය වෙලා නැවත සමනළයා බවට පත් වෙනවා. මේ ක්‍රියාවලිය තවමත් අපිට 100% තේරුම් ගන්න පුලුවන් වෙලා නැහැ.
ස්පර්ශක, ශුන්ඩාව, පාද, පියාපත්, සංයුක්ත ඇස් වල මූලික අවස්ථා කෝෂය හදපු අලුත බලාගන්න පුලුවන්. මේක අර ඉස්සෙල්ලා කියපු සෛල කාණ්ඩ අවසාන ඡවිපාතනය වෙද්දිත් යම්තාක් දුරකට විභේදනය සහ විශේෂණය වෙලා තියෙන බවට හොඳ සාක්ෂියක්.
කෝෂයකත් අපිට හිස, උරස සහ උදරය කියන්න ටැග්මා තුන බලාගන්න පුලුවන්; හැබැයි ඒවා දැළඹුවාගෙ සහ සමනළයාගෙ වගේ පැහැදිලිව අඳුනගන්න අමාරුයි. ඒ වගේම සංයුක්ත ඇස්, labial palpi, ශුන්ඩාව, පාද, පියාපත්, ශ්වාසරන්ධ්‍ර සහ ගුදය තියෙන තැන් වගේම ගැහැණු පිරිමි වෙනසත් පිටින් බලලා අඳුනගන්න පුලුවන්.
Pachliopta aristolochiae - Common Rose සමනළයෙක්ගේ කෝෂයක නම් කරන ලද රූප සටහනක්. (ඉහළ - උදරීය පෙනුම, පහළ - පැති පෙනුම) |
සමනළුන්ගේ කෝෂ හැඩයෙන්, වර්ණයෙන් සහ තවත් ආකාර වලින් ලොකු විවිධත්වයක් දක්වනවා. සාමාන්‍යයෙන් විශේෂ දෙකක කෝෂ පහසුවෙන් වෙන් කරලා අඳුරගන්න පුලුවන් හැබැයි ඒ හැමවෙලේම නෙමෙයි, මොකද ළඟින් නෑදෑ වෙන විශේෂවල බොහෝදුරට කෝෂයේ පෙනුම සමානයි.
මේ ක්‍රියාවලියේදි අඩුපාඩු නිසා ගොඩක් අය මැරෙනවා; කෝෂය හැදීමේදී, කෝෂය තුළ විකසන ක්‍රියාවලියේදි සහ පිළා අවධිය අවසන් කරලා පිටතට පැමිණීමේදී අසාර්ථක වෙන අවස්ථා බොහොමයි. ඒ වගේම පිළා අවධියට කොහෙවත් යන්න බැරි නිසා ආරක්ෂාව වෙනුවෙන් සෑහෙන්න වෙහෙසෙන්න වෙලා තියෙනවා. විලෝපිකයෝ, බැක්ටීරියා, වෛරස සහ දිලීර වැනි ආසාදන, පාරිසරික බලපෑම් සහ තවත් මහා ගොඩක් කරදර වලට මෙයාලා මුහුණ දෙනවා. Papilio demoleus (Lime Butterfly) කියන සමනළයා යොදාගෙන කරපු පරීක්ෂණයක පිළා අවධියේ මරණ ප්‍රතිශතය ආසන්නව 32% ක් වෙලා තියෙනවා (Suwarno 2012). හැබැයි අපි කතා කරපු කීට අවධිය වගේම මෙයාලත් සම්පූර්ණයෙන්ම අසරණ නැහැ මෙතෙන්දි. සමහරු තමන් ඉන්න පරිසරයේ වර්ණ රටා වලට සමාන වර්ණ රටා ඇතිකරගෙන නොපෙනී ඉන්නවා (camouflage), තව කට්ටියක් වේලිලා ගියපු කෝටු ඇතුලෙ තියෙන කුහර වල වගෙ තැන් වල හැංගිලා ඉන්නවා, තව කට්ටියක් කූඹි ගුල් ඇතුලෙ ඉන්නවා, සමහරු එක එක ජාතියෙ ව්‍යූහ (කුරු, කටු, උල් වගේ) දරන්නේ තමන්ට කරදරයක් කරන්න වෙන කෙනෙක්ට ළං වෙන්නවත් බැරිවෙන විදිහට, තවත් සමහරු විලෝපිකයන්ට විෂයි (මෙයාලා ගොඩක් වෙලාවට අනතුරු ඇඟවීමේ වර්ණ රටා පෙන්නුම් කරනවා). පුදුම විවිධත්වයක් තියෙන්නෙ.
ලංකාවේ දකින්න ලැබෙන අමුතු පෙනුම තියෙන කෝෂ කිහිපයක් |
සමනළ විශේෂ ඔක්කොගෙම වගේ බිත්තර සහ ශුක්‍රාණු පිළා අවධියේදි පරිණත වෙනවා. ඒ කියන්නෙ කෝෂෙන් එළියට එන්නෙ ප්‍රජනක වශයෙන් පරිණත සුහුඹුලෙක්.
එකී මෙකී නොකී හැම කරදරයක්ම සාර්ථකව ජයගත්තානම් පිළා අවධිය අවසාන කරලා සුහුඹුල් සමනළයා එළියට එන්න දවසකට විතර කලින් ඇතුලත අවයව පැහැදිලිව පේන්න පටන්ගන්නවා (සමහරුන්ගෙ කෝෂ අඳුරු පාට නිසා මේක පෙන්නෙ නැහැ), ඒ වගේම එළියට එන දවසට කලින් දවසෙ රෑ පියාපත්වල වර්ණ ඇතිවීම ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් සමනළුන් කෝෂෙන් එලියට එන්නෙ පාන්දර හෝ උදේ වරුවෙ තමයි…
පරිසර තත්ත්ව නුසුදුසුයි කියලා තේරුනොත් මෙයාලට යම් නිද්‍රා තත්ත්වෙකට (diapause) පත් වෙලා තව කාලයක් අක්‍රීයව ගත කරන්න පුලුවන්; පරිසර තත්ත්ව සුදුසු වුණු ගමන් එලියට එන්න පුලුවන්. මේ නිසා සමනළයාගේ පිළා අවධියට කාල පරාසයක් දෙන්න අමාරුයි.
ලංකාවේ සුලභව හමුවෙන සමනළ විශේෂ කිහිපයක පිළා අවධි |